ඩුබායි රැකියා


 

(යොහාන් භාසුර)

ඩුබායිහි ඇගලුම් ක්ෂේත්‍රයේ සහ සුපිරි වෙළඳසැල්වල  රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ඇගලුම් ක්ෂේත්‍රයේ හා සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් 450,000 කට අධික මුදලක් ලබාගෙන විදේශ ගතකර ඇති බවත් එහෙත් ඩුබායි රාජ්‍යය තුළදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පිරිසක් කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

එම බලපත්‍රලාභී රැකියා නියෝජිතවරිය පැමිණිල්ල විභාගය සඳහා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී, ඇය මීට මාසයකට පමණ පෙර එම රැකියා නියෝජිතායතනයේ භාරකාරීත්වය වෙනත් පුද්ගලයෙකු වෙත පවරා ඇති බවත් ඔහු මෙසේ මුදල් අයකරමින් රැකියා ලාභීන්ට වංචාකර ඇති බවත් හිමිකාරිය පිළිගත් බවත් එම කාර්යංශය කීය.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.  

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වන රවීන්ද්‍ර අබේපාල සහ එම්. කේ. සුමනවීර සහ කළමනාකරණ සහකාර අචිනි නිරාශා යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.