(තිළිණි ද සිල්වා)
ජපානයේ යොකොහාමාහි, කොරෝනා අසාදිතයින් රැසක් වාර්තා වී තිබෙන "ඩයමන්ඩ් ප්‍රින්සස් " නෞකාවේ යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ තත්ත්වය සුරක්ෂිත යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන් සමඟ නිරන්තරයෙන්ම කතා බහ කරන බවට තානාපති කාර්යාලය දන්වා තිබෙන බවත් එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව එම ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙම මුහුදු සංචාරක නෞකාවේ සිටින පිරිස අතරෙන් දැනට 454 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.
නෞකාවේ මගීන් ගොඩබැස්සවීම සඳහා දින 14ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කිරීමට එනම් පෙබරවාරි 19 හා 20 දක්වා කාලයක් ගතකිරීමට මෙම සමාගමට සිදුවනු ඇත. කෙසේවෙතත්, අවශ්‍යතාවයට අනුව මෙම කාර්යමණ්ඩල සාමාජිකයින් තවත් කාලසීමාවක් නිරෝධායනය කිරීමට සිදුවනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

