ටී එන් ඒ සම්බන්ධිකරණ කමිටු රැස්වීම හෙට කොළඹදී


(එෆ්.අස්ලම්)
 
එක්සත් ජාතික පෙරමුණට සහාය පළකිරීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වී ඇති විරෝධය මත  දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් හෙට (03)  කොළඹදී කැදවා ඇත.
 
දෙමළ සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ ත්‍රිත්වයේම සහභාගීත්වයෙන් මෙම රැස්වීම කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේදී  හෙට(03)  සවස මෙම රැස්වීම කැදවා ඇතැයි ටෙලෝ සංවිධානයේ නියෝජ්‍ය නායක හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපය,ට  පැවසීය.
 
දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණයට විරෝධය පලකරමින් ටෙලෝ සංවිධානය හදිසියේම එම සංවිධානයේ මධ්‍යම කාරක සභාව රැස්කර ගනිමින් පක්ෂ සම්බන්ධීකරණ රැස්වීමක් කැදවා සියළු පක්ෂවල පොදු එකගතාවක් ඇතිව අවසන්  තීරණයක් ගත යුතු බව අවධාරණය කළහ.
 
එජාප නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඉටු කරන බවට වාචිකව දෙන ලද පොරොන්දු මත ඔහුට සහාය දැක්වීම පිළිගත නොහැකි බවත් එම ඉල්ලීම් සදහා ලිඛිතව අත්සන් සහිතව පොරොන්දුවක් ගත යුතු බවටත් ටෙලෝ සංවිධානය සදහන් කළහ.
 
එමෙන්ම දෙමළ සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම පමණක් රැස්ව මෙවන් තීරණයක් ගැනීම කෙරෙහි අප්‍රසාදය පලකළ ටෙලෝ මධ්‍යම කාරක සභාව සිය ස්ථාවරය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත දැනුම් දුන්හ.
 
මාවෙයි සේනාධිරාජා මහතා විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සමගින් සාකච්ඡා කර (4) වැනිදා සම්බන්ධීකරණ කමිටු රැස්වීම සූදානම් කරනු ලැබීය.
 
දෙමළ ජාතික සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනාගේ අත්සන් සහිතව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීමේ තීරණය පිළිබද මෙහිදී නැවත සාකච්ඡා කිරීමටත් මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය කෙබදු ආකාරයකින් කටයුතු කළ යුතුද යන්න තීරණය කර ගැනීමටත් ඒ පිළිබද සන්ධානයේ නියෝජිත දේශපාලන පක්ෂවල අදහස් විමසීමටත් නියමිතය.