ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය?


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව විදේශයන්ට ලබාදෙන මානුෂීය ආධාර සහාය බොහොමයක් කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, 2030 වසර වන විට ලෝකයේ අමතර ලක්ෂ 140 ක ජනතාවකට මරු කැඳවනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත.

එලෙස අකල් මරණ උරුම වන ලක්ෂ 140 ක ලෝකවාසි ජනතාවකගෙන් ලක්ෂ 45 ක් වයස අවුරුදු 5 ට දරුවන් වනු ඇති බවද එම අධ්‍යනයෙන් පුරෝකතනය කර තිබේ. එසේත් නැතිනම් අවුරුද්දකට දරුවක් ලක්ෂ 7 ක් පමණ ට්‍රම්ප්ගේ තීරණයෙන් මියයනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වැඩසටහන් වලින් සියයට 80 ක් නවත්වා දැමීමට තීරණය කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පහළ සහ මැදි ආදායම් ලබන රටවල් රැසකට එල්ල වන කම්පනය ගෝලීය වසංගතයකින් හෝ යුද ගැටුමකින් එල්ල වන කම්පනයට සමාන වනු ඇතැයි අධ්‍යනයේ සම-කර්තෘ ඩේවිඩ් රසෙල්ලා ප්‍රකාශ කළේය.ඇමෙරිකාව විසින් සිදුකළ අරමුදල් කප්පාදු කිරීම්, අවදානමට ලක්වූ ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබාගත් ප්‍රගතිය වහාම නතර කර දැමීමට හෝ ආපසු හැරවීමට හේතු වනු ඇතැයි රසෙල්ලා පැවැසුවේය.

එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ආධාර සමුළුවක් සඳහා මේ සතියේ ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේදී ලෝක නායකයන් පිරිසක් රැස්වීමට නියමිතව තිබෙන අවස්ථාවක මෙම වාර්තාව එළි දක්වා ඇත. මෙම ආධාර සමුළුව දශකයේ විශාලතම ආධාර සමුළුවද වේ.

රටවල් 133 දත්ත මත පදනම්ව අධ්‍යනය කළ පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ 2001 සිට 2021 දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදුන් සහායෙන් මරණ ලක්ෂ 910ක් වළක්වා ඇති බවයි.

කෙසේ නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර සිටියේ අරමුදල් කප්පාදු කිරීමෙන් පසුවත් වැඩසටහන් 1000 ක් පමණ ලොවපුරා ක්‍රියාත්මක වනු ඇති බවත් එම වැඩසටහන් පෙරටත් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක වනු ඇති බවත්ය.