( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.
අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් තහනම් කර තිබෙන ප‍්‍රදේශයක අධිකරණ නියෝග නොතකා, ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් ඉදිරිපත් කරමින් ගොනු කළ පෙත්සමට අදාළව ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කළ අනෙක් දෙදෙනා වන්නේ මුලතිව් ප‍්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.
අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි කියමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය කළ පෙත්සම අද (21) සළකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නොතීසි නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප‍්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, බොදුබල සේනා සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.
තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ අපවත් වූහ. අපවත් වූ හිමියන්ගේ දේහය මෙම ප‍්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ. මෙම තත්ත්වය තුළ ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ. ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් පෙත්සම්කරු ද ඊට සහභාගී විය.
කෙසේ නමුත් මුලතිව් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත‍්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය හිමියන්ගේ දේහය ප‍්‍රශ්නගත ප‍්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියක් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් පැමිණ හිමියන්ගේ දේහය තහනම් කළ ප‍්‍රදේශයට රැගෙන ආහ. ඉන්පසු එම ස්ථානයේදී හිමියන්ගේ දේහය ආදාහනය කළේය.
මේ ක‍්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත. මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6 ක සිර දඬුවම් නියම කෙරිණි. පසුව ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.
එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

