( තිළිණි ද සිල්වා )
ජෝර්දානයේ ‘අම්මාන් නුවරට‘ ඈතින් පිහිටි එරට කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා අද (04) ලංකාදීපයට පැවසීය.
එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී රෝගාතුරව සිටින ලාංකිකයින් පිරිස අතුරින් එක් අයෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචිකරුවෙක් යැයි ද පැවසේ. රෝගාතුරවූ ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ලාංකිකයින් 350 දෙනා මේ වනවිට එම කර්මාන්ත පුරය පිහිටි ජෝර්දානයේ මළ මුහුද වෙරළ තීරයට ආසන්නයේ එරට රජය විසින් සැකසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා අදාළ ප්‍රතිකාර සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මොවුන් පිළිබඳ සොයා බැලීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්ද ඊයේ (03) දිනයේ අදාළ ස්ථානයට ගිය අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර එරට සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් සොය බලමින් සිටින බවද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මියගිය පුද්ගලයා සේවය කළ ජෝර්දාන් ඇගළුම් කර්මාන්ත ශාලාව පිහිටි කර්මාන්ත පුරයේ සේවය කරන 1200 ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 400 දෙනෙකු ලාංකිකයින් වන අතර ඉන් 350 කට පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගෙන ඇත.
මොවුන් සියලු දෙනාම එම කර්මාන්ත ශාලාවල පිහිටි නේවාසිකාගාර වල නවාතැන් ගෙන සිටීම නිසා මෙම වයිරස සීඝ්‍රයෙන් පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කීය.

