(යොහාන් භාසුර)
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංගම් තුනක් පවසයි.
මෙරට ප්‍රධාන ඖෂධ කර්මාන්ත සංගම් තුන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතාට යොමු කළ එකාබද්ධ ලිපියකින් ජී2ජී ආකාරයෙන් ඖෂධ ආනයනය කිරීමේ යෝජනාවට එලෙස දැඩි විරෝධය පළ කර තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ප්‍රතාබන් මයිල්වාගනම්, ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලයේ සභාපති ලෝහිත සමරවික්‍රම සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර යන මහත්වරු මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා තිබේ.
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය ක්‍රියාත්මක වුවහොත්, දේශීය ඖෂධ කර්මාන්තය බරපතල ලෙස බලපෑමකට ලක්වී එමගින් රෝගීන්ගේ සෞඛ්‍යය, රැකියා, ආයෝජන සහ ජාතික ආර්ථිකයම තර්ජනයට ලක්වනු ඇති බවත් රජය කෘත්‍රිම ඖෂධ හිඟයක් ඇති කරමින් යෝජිත ආනයන ක්‍රමය සාධාරණ කිරීමක් බවට පත් කළ බවත් ඖෂධ නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
නිෂ්පාදන ලියාපදිංචි කිරීම් ප්‍රමාද කිරීම, පවතින ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයන්ගේ හැකියාව නොසලකා හැරීම සහ නියාමන ක්‍රියාවලියන් වළක්වා නව පද්ධතියක් ගෙන එන උත්සාහය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් යෝජිත ජී2ජී ආනයන වැඩසටහන වහා නවතා දැමීම, කෘත්‍රිම හිඟය නිර්මාණය කරන බවට සැක සහිත නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනක් පැවැත්වීම, දැනටමත් තිබෙන ඖෂධවල ලියාපදිංචි කිරීම් වේගවත් කිරීම සහ කර්මාන්තය නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ විවෘත සංකච්ඡා ආරම්භ කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලීම් කරති.