(විනීතා එම් ගමගේ)
වකුගඩු රෝගයට ගොදුරු වී ජාතික රෝහලේ නේවාසිකව සිටි කාන්තාවක් ඩෙංගුරෝගය වැළඳී මිය යාම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා තවත් රෝගීන්ට ඩෙංගු වැළඳෙන්නට පෙර පියවරක් ගන්නැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
ජාතික රෝහලේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ ඩෙංගු රෝගය වැළඳී මිය ගොස් ඇත්තේ පන්නිපිටිය පොල්වත්ත අංක 66 නිවසේ පදංචිව සිටි ගාර්දිය හේවාවසම් ගේ සුනේත්‍රා චාන්දනී නමැති 50 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මිය ගියේ ජාතික රෝහල තුළදී ඩෙංගු වැළඳීම නිසා යැයි තහවුරු වී ඇති බැවින් වහා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇති මරණ පරීක්ෂකවරිය ජාතික රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ද අවධානය යොමු කරවමින් ලිපියක් යවා ඇත.
මෙම තොරතුරු හෙළිවූයේ මියගිය කාන්තාවගේ මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති මරණ පරීක්ෂණයේ දීය.
මිය ගිය කාන්තවගේ සැමියා වන මුහන්දිරම්ගේ කුමාර රංජන ගෝමිස් මහතා මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.
“මිය ගොස් ඇත්තේ මගේ බිරිඳයි. ඇයට වකුගඩු අමාරුව තිබුණු නිසා ඔක්තෝබර් 10 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කළා. දිගටම ප්‍රතිකාර කරගෙන ආවත් ඇයට පසුගිය නොවැම්බර් 09 වැනිදා උණ හැදුණා. ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. 10 වැනිදා මිය ගියා.
ප්‍රතිකාර කරගෙන සුව වෙන්න ආ මගේ බිරිඳ රෝහල තුළදී වැළඳුනු රෝගයක් නිසා මිය යාම කණගාටුවක්. මෙවැනි අපරික්ෂාකාරී පරිසරයක් නිසා තවත් ජීවිත නැතිවිය හැකියි. එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්න කියා මම රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

