ජාතික තරුණ ප්‍රතිපත්තිය ජනවාරියේ


 

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ ප්‍රතිපත්තිය ලබන ජනවාරියේ ප්‍රකාශයට පත් කරන බව   තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවැසීය.

 එම ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් පුරවැසි අදහස් හා යෝජනා ලබා ගැනීම නොවැම්බර් 20 දක්වා සිදු කිරීමට නියමිතය. 

 අදහස් හා යෝජනා ලබාදීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් QR කේතයක්, ෆේස්බුක් ගිණුමක්, වට්ස් ඇප් අංකයක්, ෆැක්ස්, දුරකථන අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 එමෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව ද එම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි. 

ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා පැවසූයේ ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මේ වනවිට පවතින ජාතික තරුණ ප්‍රතිපත්තිය ප්‍රායෝගික එකක් නොවන බවත්, එහි ඇති පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ජාතික තරුණ ප්‍රතිපත්තිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සකස් කිරීමට යෝජිතය.