ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදී  ,  ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වී සිටීමෙන් පසුව  , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ  නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස්  , භාර ගෙන අද (07 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. .මොහු ඉකුත් 2024 වසරේ 01/22 දින බෙලිඅත්ත පොලිස් වසමේ , බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ , ඩිපෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට , කහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට , විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි .

අනෙක් සැකකරු කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස් වලට පහර දී දේපළ වලට අනර්ථයන් සිදු කර , කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයෙකි .

මෙම කණ්ඩායමේ රැගෙන ආ තුන් වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

මොහු අකුරැස්ස , මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදු කර , එම අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි .  මොවුන්  අද (07) දහවල් 11.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , නීතීඥ , බුද්ධික මනතුංග මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ශ්‍රී ලංකාව තුළ  තවත් මෙවැනි අපරාධ සිදු කර , විදේශ රටවල් වෙත පළා ගොස් ඇති පුද්ගලයන් 65 දෙනෙකු වෙත ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .