(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරට සම්බන්ධයෙන් ස්ථාන මාරුකරන ලද වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක්කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාර එල්ල වූ සමයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර භාරව රාජකාරී කළේය.
පැය හයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා විසිනි.
ඉකුත් අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින අතර පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට විනට චෝදනා එල්ල විය.
ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව නීතිපති වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ලබාදුන් උපදෙස් මත එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම පහළ නිලධාරීන් රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී දැඩිව ප්‍රශ්න කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් හා ස්ථානාධිපතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය චෝදනා පත්‍ර ලබා දීමට නියමිතය.
එලෙස විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව සැකසීම සඳහා මියගිය අයගේ ඥාතීන් මෙන්ම තුවාල ලැබූ අයගේ ප්‍රකාශ ද ලබා ගත් බවත් ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ ප්‍රකාශ ද ලබා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව ඉතා ඉක්මනින් ජාතික පොලිස් කොමිසම වෙත බාර දෙනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

