ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්


(රේඛා තරංගනී ෆොන්සේකා)
 
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ විරෝධතාවයක් අද(17)රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
 
ජාතික ජල සම්පාදන මණ්ඩලය ණය වී ඇති බවත් එකී ණය ගෙවීමට තවත් ණය ගනිමින් සිටීම හේතුවෙන් විශාල මුල්‍ය අර්බුදයක් ඇති වී ඇති බවත් පවසමින් ඊට විරෝධය පළකරමින් එහි සේවකයෝ සියයකට අධික පිරිසක් මීට එක්වූහ.
 
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ඒ. චන්ද්‍රසිරි පෙරේරා මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලය මිලියන 342 ණය වී ඇති බවත් සමස්ත ආදායම බිලියන 23 බවත් එකී මුදලින් බිලියන 11 පොලිය ලෙස ගෙවන බවත් පැවසීය. අසාර්ථක ව්‍යාපෘති සඳහා ණය නොගන්නා ලෙස නිලධාරීන් දැනුවත් කළ බව සඳහන් කළ ඒ මහතා නිලධාරීන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් නඩත්තු කටයුතු සඳහා ද මුදල් නැති තත්වයක් ඇති වී ඇතැයි කීය.
 
ජලසම්පාදන මණ්ඩලය රැක ගැනීම සඳහා දැවැන්ත අරගලයක් අරඹා ඇති මෙවන් අවස්ථාවකට රට පුරා කාර්යාල නියෝජිතයින් එක්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.