ජපන් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


(විනීතා එම්  ගමගේ)
 
ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක්  වංචා කළ පොල්පිතිගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මුහුණුපොත හරහා පළකරන ලද දැන්වීමක් අනුව ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම මුදල ලබාගෙන ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකුගෙන් වන අතර, සැකකාර පුද්ගලයා තලාකොළ වැව, පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෙතෙම නම් කිහිපයකින් පෙනී සිට තිබේ.
 
මොහු විසින් අදාළ මුදල බැංකුවක විශේෂිත ගිණුමක් අරඹා ඊට බැර කර ඒ සඳහා ඩෙබිට් කාඞ්පතක් සකසා සැකකරු වෙත ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.
 
උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රාජ්‍ය බැංකුවකට අයත් මාස්ටර් කාඩ් පතක්, බැංකු පොතක්, ව්‍යාජ හැදුනුම්පතක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති හැදුනුම්පතක් හා තවත් ලිපි ලේඛන කිහිපයක් ද පොලිස්භාරයට ගෙන ඇත.
 
මෙම අත්අඩංගුවට ගෙන කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
 
මෙම වැටලීම සඳහා නියොජ්‍ය සාමාන්‍යධිකාරී (නීති)  කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලීස් පරීක්ෂක ආර්.පී.කේ.යූ.රාජපක්ෂ මහතා හා කාර්යාංශ නිලධාරී රොඞ්නි වනිගසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.