(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්‍ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථිර අදහසක් නැතැයි දයාසිරි ජයසේකර මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බව වුවත් අනෙක් කණ්ඩායම වෙනත් නම් යෝජනා කරන බව කී ජයසේකර මහතා ජනාධිපතිවරයා ද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප‍්‍රකාශ කර නැතැයි ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ මෙම වසර අවසානයේ දී බව කී මහලේකම්වරයා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද කීවේය.
එබැවින් ජනාධිපතිවරණයක් ගැන කතා නොකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.