ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 2කේ චෝදනා ගැන දැඩි ක්‍රියාමාර්ග ගන්නවා


(ඩයනා උදයංගනී)

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සැලසිනේ ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ රජයේ රූපවාහිනී නාලිකාවක සභාපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සැලසිනේ ආයතනයේ වෙබ් අඩවියක් හදන්න යැයි කියා රුපියල් ලක්‍ෂ 7ක් ගෙවා ඇතත් මේ දක්වා වෙබ් අඩවියක් නොතිබීම, ‘රටවැසි යුතුකම’ නම් සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුත්තකට අදාළව ලබාදුන් රුපියල් ලක්‍ෂ හතක මුදලින් කිසිඳු කටයුත්තක් සිදුනොකිරීම සහ පසුගිය රජය සමයේ එය වෙත ලබාදුන් රුපියල් ලක්‍ෂ 310 ක ස්ථාවර තැන්පතුවෙන් රුපියල් ලක්‍ෂ 210ක් කුලී ගොඩනැගිල්ලකට වාරික ලෙස මෑතකදී ගෙවීම ආදිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා බරපතල බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය රූපවාහිනී නාලිකාවක සභාපතිවරයා එහි නාට්‍ය විකාශය කිරීමේදී තමන් නිර්මාණය කළ නාට්‍ය සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවට නැගෙන චෝදනාවද යහපත් එකක් නොවන බව කී ඇමතිවරයා තමන් යටතේ ඇති අමාත්‍යාංශ තුළ චෞරයන්ට ඉඩ නැතැයි ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම ආයතනවලට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන බව කී ඇමතිවරයා මහජන මුදල් හා දේපලවලට ගරු කිරීම  දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකමක් බව ද පැවසීය.

මේ ගැන සොයාබලා ගන්නා පියවර ඉදිරි කැබිනට් මාධ්‍ය හමුවේදී දැනුම් දෙන බව ද ඇමතිවරයා පැවසීය.

තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල දැනට කටයුතු කරන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හා ආයතන ප්‍රධානීන් කිසිවකු තමා පත්කළ අය නොවන නමුත් වත්මන් ආණ්ඩුව පත්කළ අය නිසා මේ චෝදනා සම්බන්ධයෙන් තමාට ඇඟ බේරාගැනීමට නොහැකි බව ද කීවේය.

එමෙන්ම ‘අපේ පක්‍ෂයේ කෙනෙක්, දිස්ත්‍රික්කයේ කෙනෙක්, උදව් කළ කෙනෙක්’ යන විශේෂණ පද යොදා ඔවුන් ආරක්‍ෂා නොකරන බවට තමා සහතික වන්නේයැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.