පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි.
නියඟයට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිවරයා මෙහිදී සවන් දුන්නේ ය.
එමෙන්ම බෝග කළමනාකරණය පිළිබඳ හැදින්වීමක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද නිරික්ෂණයට ලක් විය.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මට ජනාධිපති සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් අත්සන් තැබීය.
කෘෂිකර්මාන්තය කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය