
(අංජුල මහික වීරරත්න)
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රටෙි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා"යන මැයෙන් ටෝකියෝ නුවර දී අද(26)පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක්වෙමිනි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළේය.
අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහල නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය ජපාන සමාගම්වලට කලාපයේ මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි.


