ජනපති චීනයට ලඟා වෙයි


(අංජුල මහික වීරරත්න)

චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා චීනයට ගිය අතර සිකුරාදා(17) දක්වා චීන සංචාරයේ නිරත වේ.

මෙහිදී අනුර දිසානායක මහතා චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.