(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී.
අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසමේ වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24.6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ඉකුත් 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට මීට පෙර ඊට අදාළ පැමිණිලි විභාගයේදී කරුණු හෙළිවිණි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.

