(විමුක්ති එස් රුද්‍රිගු)
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සංවිධානය කළ 'ජනතා විනිශ්චය සභාව' නම් නිල නොලත් විනිශ්චය සභාවක් විසින් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙක්සිකෝව, ශ්‍රී ලංකාව සහ සිරියාව වරදකරුවන් බව තීරණය කළ බව ඒ.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
නෙදර්ලන්තයේ හේග් නුවරදී රැස්වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ ජනතා විනිශ්චය සභාව ඉකුත් සඳුදා දින, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳව මෙක්සිකෝව,ශ්‍රී ලංකාව සහ සිරියාව යන රටවල රජයන් වගකිව යුතු බව ඉලක්ක කරමින් තම තීරණය දැනුම් දුන්නේය. කෙසේ නමුත් මෙම විනිශ්චය සභාවට කිසිඳු නීතිමය බලයක් නොමැත.
ඉදිරිපත් වී ඇති ප්‍රබල සාක්ෂි මත මෙක්සිකෝව, ශ්‍රී ලංකාව සහ සිරියාව යන රාජ්‍යයන්,ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රයේ තිබෙන සියලුම මානව හිමිකම් කඩකිරීම් චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් බව බුවනෝ අයර්ස්හි නීති විද්‍යාලයේ මහාචාර් ය එඩුවාර් ඩෝ බර්ටෝනි ප්‍රකාශ කළේය.
ඔහු 'ජනතා විනිශ්චය සභාවේ' සිටින විනිසුරුවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකි. මෙක්සිකෝව,ශ්‍රී ලංකාව සහ සිරියාව යන රටවලට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන්නත් කිසිදු රටක් කරුණු නොදැක්වූ බව ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා රජයේ දූෂණ සම්බන්ධව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කතා කිරීමෙන් අනතුරුව 2009 වසරේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ බවත් එම සිද්ධිය විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ නමුත් තවමත් එම විමර්ශනය අවසන් කර නොමැති බව ඒ.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන් වාර්තා කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා, ජනතා විනිශ්චය සභාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිර්දේශද ඉදිරිපත් කර ඇත.

