ජංගම සේවයේ ගිය සාජන්ගේ පිස්තෝලය උදුරන් වෙඩි තියන්න හදලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

රාත්‍රී  ජංගම සංචාරයේ  නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු  උදුරාගෙන  වෙඩි තැබීමට  උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ නිලධාරීන්    සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත

සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත

             පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු  පෙරේදා (29)  රාත්‍රී ජංගම සංචාරයේ නිරත වෙද්දී පානදුර ගාලුපාර සතොස  අසල සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටිනු දැක ජීප් රථය නවතා සැරයන් වරයා සහ කොස්තාපල්වරයා ඔහු  අසලට ගොස් තිබූ බව පොලිසිය කියයි

         එම ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමගම සැකකරු සැරයන් වරයා ගේ පිස්තෝල  රඳවනයේ බහා තිබූ  පිස්තෝල ගිනි අවිය එක වරම   ඔහු අතට ගෙන සැරයන් වරයා දෙසට එල්ල කර ක්‍රියාත්මක කර ඇතත්  වාසනාවකට මෙන් එය ක්‍රියාත්මක වී නැතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසිය

ඒ සමගම ක්‍රියාත්මක වූ සැරයන් වරයා සහ අනෙක් කොස්තාපල්වරයා මෙන්ම රියදුරු කොස්තාපල් වරයා  දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත් මාංචු දමා සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබී මන්නයක් සහ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

අනතුරුව සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී සැකකරු මොරටුව ඇතුළු පොලිසි ගණනාවක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය 

සැකකරු  මෝදරවිල  පදිංචිකරුවෙකි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන් ගේ උපදෙස් මත පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩි උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.