(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ඒකාබද්ධව යෝජනාවක් ගෙනවිත් එය සම්මත කරන අවස්ථාවේ ඡන්දයක් ඉල්ලාවි යැයි ජාතික ජන බලවේගය නොසිතූ බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය.
ක්‍රිකට් ආයතන සම්බන්ධ විවාදයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ නොසිටියේ ඒ හේතුව නිසා බවද අනුර දිසානායක මහතා කීය.
අදාළ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
ක්‍රිකට් ආයතනය සම්බන්ධ යෝජනාව විපක්ෂ විපක්ෂ නායකවරයා විසින් ගෙනා ආ අතර ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කරනු ලැබුවා.විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේ එක්ව එම යෝජනාව සකස් කරනු ලැබුවා.ඒ අනුව ඡන්දයක් පවතින්නේ නැති බව අප උපකල්පනය කරනු ලැබුවා.
නොපවතින ඡන්දයක් වෙනුවෙන් අප සභාවේ සිටිය යුතු වන්නේ කුමටද?
අදාල ඡන්ද විමසන අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. අපට ඉන්නට ඡන්දයක් තිබුණේ නැහැ.ඒක විපක්ෂය සහ ආණ්ඩුව ඒකාබද්ධව ගෙන ආ යෝජනාවක්.කවුරුවත් ඡන්දයක් ඉල්ලාවි කියන බලාපොරොත්තුව අපට තිබුනේ නැහැ.
අප ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේ ෂම්මිට හෝ ක්‍රිකට් බෝඩ් එකට කඩේ යන්න නොවේ.මේ ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අප කතා කරන්න පටන් ගත්තේ ගත්තෙ අද ඊයෙක නොවේ.අපේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන විට ක්‍රිකට් බෝඩ් එක එහි කැදෙව්වා.
ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකර තිබෙන බවත් ඒ ගිණුම පෞද්ගලිකව ගනදෙනු කරන්නට ඉඩ දී තිබෙන බවත්,ක්‍රිකට් ආධාර ඒ ගිණුමට බැර කරන්නට උත්සාහ කළ බවත් එහිදී එළිදරවු වුණා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම එයින් පිටතත් අප ඇති තරම් කියා තිබෙනවා.ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස අප මීට පෙරත් ඉල්ලා තිබෙනවා.
ඉන්න පාලක මණ්ඩලය විනාශකාරීයි. ඔවුන් ක්‍රිකට් අගාදෙට ගෙනිච්චා. එහෙම කියා අලුතෙන් පත් කළ අතුරු කමිටුව සම්බන්ධයෙනුත් අප සෑහීමකට පත්වන්නේ නැහැ.
අප ශම්මි වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියනවා. ෂම්මි කියන මහත්මයා අප රූපවාහිනියෙන් හැර දැකලවත් නැහැ.ඔය ගොඩක් මහත්තුරු සමග නම් ෂම්මි වාඩිවෙලා ඉන්න හැටි අප දැක තිබෙනවා.
අනෙක ඡන්දයක් ගැන අදහසක් තිබෙනවා නම් විපක්ෂ සංවිධායක තුමා එයට අපට දැනුම් දෙන්න තිබුණා.
විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඡන්දෙ වෙලාවට එන්නැයි මම විපක්ෂ සංවිධායක ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට කිව්වා.

