ඡන්දය ෆොටෝ කළොත් වැඩ වරදී


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අභිනව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී  තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස  සියලුම මන්ත්‍රීවරුන්ගෙන්  ඉල්ලීමක් කරන බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (19) පැවසීය.

මේ අතර ජනාධිපති තොරාගන්නා ජන්ද විමසිමේදි  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ජන්දය ජායාරූප ගත කළහොත්  ඔවුන්ට  පාර්ලිමේන්තු  මන්ත්‍රී ධුරයක අසුන් ගැනිම වසර 7කට  අහිමි කිරීමට හෝ මාස හයක සිර දඬුවමකට  යටත් කිරීමකට හෝ  නීතිමය ප්‍රතිපාදන පවතින බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා  හෙට  (20) පැවැත්වෙන ඡන්ද විමසීම සියලු නීති රීති වලට අනුගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බවද  කතානායකවරයා පැවසුවේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ  ක්‍රියාවලිය  අදාළ නෛතික රාමුව තුළ සාර්ථකව පැවැත්වීමට සියලු පාර්ශවයන් මෙතෙක්  දැක්වූ සහය අගය කරන බව ද කතානායකවරයා පැවසීය.

අද  දින පැවැත්වෙන රහස් ඡන්ද විමසීමේ  තේරීම්බාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ    1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අනුව අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන්  මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තුව යළි ලබන 27 වැනිදා රැස්වීමටද  පාර්ලිමේන්තු‍ කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (20)  තීරණය විය.

මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය එදින අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට  නියමිතය