(අංජුල මහික වීරරත්න)
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදුවිය.
සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැක ගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.
ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.