(විමුක්ති එස් රුද්‍රිගු)
චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියත් අද දින හම්බන්තොට වරායට ඇතුළු නොවන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඔබ්බෙන් සැතපුම් 600 ක සීමාවට පැමිණීමෙන් පසු ගමන් මග වෙනස් කර නෞකාව එකම ස්ථානයේ ත්‍රිකෝණාකාර ගමන් මගක යාත්‍රා කර නැවතත් හම්බන්තොට වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ නිසි ගමන් මාර්ගයට පැමිණි බව මැරිටයිම් ඔප්ටිමා වෙබ් අඩවියේ දත්ත පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකාව යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස කල ඉල්ලීම ආපසු හරවන තෙක් මෙසේ එකම ස්ථානයේ ත්‍රිකෝණාකාරව යාත්‍රා කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය සැක පළ කළේය. චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද උදෑසන පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් යාත්‍රා කළේය.
මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසූ අවස්ථාවේදී ඉකුත් 8 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය හැර යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව පිළිබඳ යාවත්කාලීන කිරීමක් නොමැති බව ප්‍රකාශ කළේය.

