චීන පොහොර නැවට දුන් මුදල් යළි සාකච්ඡා


(විමුක්ති එස් රුද්‍රිගු)

හරවා යැවූ චීන පොහොර නැවට එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගෙවා තිබූ රුපියල් කෝටි 138 කට වැඩි මුදල (ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක්) හිලව් කිරීම සඳහා ඇති විකල්ප සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් සමඟ මෙම පොහොර නැව ශ්‍රී ලංකාවට පැමිණි අතර නැව රැගෙන ආ කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා තිබීම හේතුවෙන් ආපසු හරවා යවන ලදි.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමට අයත් මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ඇතුළු වූවා නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ගවලට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ තිබිණ.

පොහොර නැව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කිසිඳු සුරක්ෂණයකින් තොරව රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක්) ශ්‍රී ලංකාව ගෙවා තිබූ අතර එම මුදල ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට හානියක් ඇති නොවන අයුරින් හිලව් කරගත හැකි හොඳම විකල්පය සොයාගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.