චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි


චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය.

ජනාධිපති ආර්යාව පෙංග් ලුවාන් ද මෙම සංචාරයට එක් වී සිටින්නීය. ඊට අමතරව, චීන රජයේ නියෝජිතයන් පිරිසක් ද ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද සංචාරයට එක් වීම විශේෂත්වයකි.

ප්‍රංශ සංචාරය අතරතුරේ ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

පසුගිය කාලයේ රුසියාව සහ යුරෝපා රටවල් අතරේ සබඳතා පළුදු විය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි. චීනය රුසියාව සමඟ සමීප මිතුදම් පවත්වයි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බවට ද චීන ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. මෙය යුරෝපා බටහිර රටවල විරෝධයට හේතුවක් විය.

 (ඒ.එෆ්.පී.)