චිත‍්‍රාංගනී විජේවීර ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 
භීෂණ සමයේ දී අතුරුදහන් වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය ගොනු කර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
 
මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින් අධිකරණය  මෙම පෙත්සම් ඉවත දමන ලදී
 
මෙම අභියාචන පෙත්සම සිසිර ද අබෲ , එස්.තුරේරාජා  සහ ගාමිණී අමරසේකර යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා කියා සිටියේ මීට පෙර මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත්  එය කාලවිරෝධී බව සලකා ඉවත දැමූ බවත් ය.
 
එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එසේම හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවත් ලතීෆ් නඩු තීන්දුව අනුව එය පැහැදිලිවම පෙන්වා දෙන බවද හෙතෙම කියා සිටියේය.
එබැවින් වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් එය ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවද පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
සිය සේවාදායිකාවට පැවති බිය සහ ජීවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බවද නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.
 
නීතීපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ මෙම සිද්ධිය සිදුවී වසර 30ක් ගතවී ඇති බැවින් එම කාලය තුළ පැමිණිලිකාරිය කිසිදු පියවරක් නොගත් බවය.
 
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගනම නිෂ්ප‍්‍රභ කරන ලදී.
 
1989 වසරේදී හමුදා අත්අඩංගුවට පත් වීමෙන් පසු තම සැමියා වන රෝහණ විජේවීර  පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්  ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය මෙම පෙත්සම ඉදිරිපත් කෙරිණි.
 
පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා මහතාද  නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාද පෙනී සිටියහ.