ගෞරව උපාධිධාරිනියකට ප්‍රා.ලේ. කාර්යාල ගේට්ටුවේ රාජකාරි


 

(යොහාන් භාසුර)

සෞන්දර්ය ගෞරව උපාධිධාරිනියක් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ රාජකාරි කරන බවත් එය උපාධිධාරීන්ට සාධාරණය ඉටුකිරීමක් ද යන්නත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක්. උපාධිධාරීන් 40,000 කට 50,000 කට රැකියා දුන්නා කියලා මෙහෙම සළකන එක හරිද?”

“දැන් බඳවාගත් උපාධිධාරීන්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ කාලය පුරාවටම ඔවුන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20,000 යි. ලක්‍ෂයක් බදවාගත් අය සාමාන්‍ය පෙළ අසමත් වූ අය. ඔවුන්ගේ පුහුණු කාලය මාස හයයි. ඒ අයට ගෙවනවා 22,500 ක්.

උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20,000 යි. අවුරුද්දක පුහුණුවකුත් තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ අසමත් අයට දෙනවා 22,500 ක් පුහුණු කාලය මාස හයයි”

“මේක සාධාරණයද? උපාධිධාරීන්ට සැළකුවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? මම කියන්නෙ නෑ අර කටිටියගේ 22,500 අඩු කරන්න ඕන කියලා”

“උපාධිධාරීන්ට අරම සළකනවා මෙහෙම සළකනවා කියලා සෑම ආණ්ඩුවක්ම කිව්වා. අච්චර රැකියා දුන්නා මෙච්චර රැකියා දුන්නා කියලා කියනවා. 1999 සිට මේ දක්වා 140,000 විතර උපාධිධාරීන් විවිධ රැකියාවලට ඇවිත් තිබෙනවා. හැබැයි අද වෙනකන් ඒ රජයේ සේවයට බඳවාගත් උපාධිධාරීන්ට, ලැබිය යුතු නිසි ගෞරවය, ඔවුන්ගේ දැනුමට, උපාධියට සරිලන ආකාරයට රැකියා අවස්ථා සම්පාදනය කරලා නෑ. අවුරුදු 15 ක් විතර වෙනවා සංවර්ධන නිලධාරීන් බඳවගෙන, අද වෙනකන් සංවර්ධන නිලධාරීන්ට රාජකාරි ලැයිස්තුවක්වත් හදලා දෙන්න කිසි ආණ්ඩුවක් සමත්වුණේ නෑ”

“රාජ්‍ය සේවයට බැදුණු උපාධිධාරීන් ඒ හිටපු තැනම පල්වෙවී විශ්‍රාම යනකන්ම ඉන්න ඕනෙ. හැබැයි සාමාන්‍ය කාර්යාල සේවකයෙක් සේවයට ගියාම අඩුම ගාණේ ඒඕ කෙනෙක් දක්වාවත් උසස් වීම් ගන්න පටිපාටියක් තියෙනවා. නමුත් උපාධිධාරීන්ට ඒ උගත් දැනුමක් ගත්ත වැරැද්දටම උසස්වීමේ ක්‍රමවේදයක් හදලා නෑ. ඒක උපාධිධාරියාගේ වැරැද්ද නෙමෙයි. ඒක තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිමය වරැද්දක්” යැයි විජිත හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.