(මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි අධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවෝ මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබු නඩුවක් පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තත්ත්වය අනුව එම නඩුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් තොට තිබු සිතාසියකට අනුව නඩුවේ සාක්කිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විනිසුරු මඩුල්ල ඔවුන් අමතමින් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන ලෙස කළ නියෝගය වැරදීමකින් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙම සිතාසිය නිකුත් කොට ඇතැයිද ඒ සම්බන්ධයෙන් තමන්ගේ කණගාටුව පළ කරන්නේ යැයිද දැනුම් දුන්හ.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැරදීමකින් හෝ මෙම නඩුවේ සාක්කිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් අධිකරණයට කැඳවීම ඉතාමත් හොඳ බවත් පැමිණිල්ලේ සාක්කිකරුවන් ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්දැයි ඔවුන්ගෙන් විමසන්නැයි ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතීඥ සුරංග බණ්ඩාර මහතා තමන් මෙම නඩුවේ සාක්කිකරුවකු වන සුරේෂ් බණ්ඩාර අතපත්තු මහතා වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහුගේ බිරිඳට ලැබුණු ශිෂ්‍යත්වයක් මත දෙවසරක කාලයකට ඕස්ටේ‍්‍රලියාවට යෑමට අවසර ලැබී ඇති බවත් සාක්කිකරුට ඒ සඳහා සංස්ථාවෙන් අනුමැතිය ලැබී ඇතැයිද සාක්කිදීමට අවශ්‍ය විටෙක අධිකරණයේ පෙනී සිටීමේ කොන්දේසිය මත ඔහුට විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
එමෙන්ම රෝහාන් ප‍්‍රමින්ද හා එම්.ඒ.එස් ඉද්දවෙල යන මහත්වරුන්ටද පුහුණුවකට හා සම්මන්ත‍්‍රණයකට සහභාගී වීම සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී එම ඉල්ලීම් දිව්රුම් ප‍්‍රකාශ මඟින් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළහ.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.