(අංජුල මහික වීරරත්න )
මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම් වලට බැර කිරීමේ දී හිතාමතා වැරදි ගිණුම් අංක දුන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හා තාක්ෂණ නිලධාරින් 11 දෙනනු සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව මෙම විමර්ශන අරඹා තිබේ.
ආසියා සංවර්ධන බැංකුව විසින් මහ කන්නයේ වී වගා කරන සියලුම ගොවීන් සඳහා සහන සැලසීමට මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 8000ක මුදලක් මෙරටට පිරිනැමූ අතර ඒ යටතේ හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකක් සදහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
එසේ බැර කරන ලද රුපියල් මිලියන 1300ක් මුදලක් ගිණුම් අංක වැරදියට ලබා දීම නිසා ගිණුම්ගත නොවී ආපසු ලැබි තිබූ බව අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධව සිදු කළ විමර්ශණවල දී හෙළි වී තිබුනේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එකී නිලධාරීන් විසින් ලබා දුන් ගොවි ගිණුම් අංක නිවැරදි නොමැති බවයි.

