(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටියදී අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති නමුත් සැකකරුවන් දෙදෙනා විසින් තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අල්ලාගෙන කොල්ලුපිටිය පොලිසියේ ජංගම සංචාරක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

