ගුවන් විදුලි සංස්ථාව - රූපවාහිනිය වෙන් වෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කරමින් එක් රාජ්‍ය සමාගමක් පිහිටු වීම සඳහා 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, එවකට පැවති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කර සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් පිහිටු වීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එහෙත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැත. කෙසේ වුව ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එකිනෙකට වෙනස් තාක්ෂණයන් භාවිතා කිරීම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරි වලට අවශ්‍ය වීම, ඒවායේ සම්ප්‍රේෂණ කුලුනු විවිධ ස්ථාන වල පැවතීම හේතුවෙන් ඒකාබද්ධ කිරීම අපහසු වීම ආදී හේතූන් මත එකී ආයතන ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බව මේ වන විට හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තවදුරටත් ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස විධිමත් උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මක් ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගනිමින් පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.