ගුවන් යානා එන්ජිමක් නිර්මාණය කළ අපේ හපන්නු


ගුවන්යානාවලට යොදා ගැනෙන ගෑස් ටර්බයින එන්ජිමක් ශ්‍රී ලංකාවේ ප‍්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව නිපදවා තිබේ.
යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ අවසන් වසර ඉගෙනුම ලැබූ එච්.ඞී.වී. අමරතුංග, ඞී.එම්. අන්නාසිවත්ත, එච්.එම්.එස්. ඩිලාංජය සහ වයි.ඒ.එම්. පරාක‍්‍රම යන සිසුන් විසින් මෙය නිපදවූ අතර එම ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලැබූ ප‍්‍රථම සිසුන් කණ්ඩායම ද ඔවුහු වෙති.
ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ සම්බන්ධීකාරක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙය නිපදවීය.
මෙම ගෑස් ටර්බයින එන්ජිමේ ඇති සුවිශේෂත්වය නම් දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවීමය.
මෙම එන්ජිම මධ්‍යයේ පිහිටුවා ඇති සම්පීඩකය මගින් එහි වටා ඇති කැනූල ප‍්‍රමාණයේ කුටීරවලට වාතය සම්පීඩනය කරන අතර එමගින් ඉන්ධන සම්පූර්ණයෙන්ම දහනය කිරීමට පහසුව සැලසේ. එමෙන්ම පිළිස්සුන ගෑස් සෘජුවම ටර්බයිනයේ භ‍්‍රමකයට ගමන් කරන අතර කාර්යක්ෂමව බලශක්තිය ලබාදීම සිදුකෙරේ.
මෙම එන්ජිමේ බොහෝ උපාංග දේශීය නිපදවා ඇති අතර ඉන්ධන ඉන්ජෙක්ටර් ලබාගෙන ඇත්තේ පැරැණි මෝටර් රථයකිනි. එමෙන්ම දාහක පාලන විද්‍යුත් පරිපථය නිර්මාණය තිබෙන්නේ ඉවත දමන ලද ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති කොටස් උපයෝගී කරගෙන බව නිර්මාණකරුවෝ පවසති.

 

 

(ගයාන් සූරියආරච්චි)