ගුරුකන්ද නාහිමිගේ ආදාහනයේදී මහේස්ත්‍රාත් නියෝගය කඩ කළැයි විරෝධතා


(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා සංවිධානය කර තිබුණි.

වවුනියාව නගරයේ පැරණි බස් නැවතුම්පළ සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතා ප්‍රදේශයේ තරුණ සංවිධන හා සිවිල් සංවිධාන සංවිධානය කර තිබුණි.
 
වවුනියාව පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස කියා සිටියේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය කඩ කළ අයව වෙනුවෙන් වහාම පොලිස් පරීක්ෂණයක් කළ යුතු බවත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවත්ය.
 
ඔවුහු විරෝධතාවය අවසානයේ පෝස්ටර් ගිනි තැබීමටද පියවර ගත්හ.
 
එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය  ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුලු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියා සිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කළ සියලු දෙනා නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවය. මහෙස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවද ඔවුහු කීහ.