ගාල්ල බන්ධනාගාරයට දුම්කොළ-දුරකතන වීසිකරන්න ගිය අයෙක් අල්ලයි


(ඩී.ජී.සුගතපාල සහ ලලිත් චාමින්ද)
 
ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීම සඳහා දුම්කොල පර්සලයක්, ජංගම දුරකතන දෙකක් සහ චාජරයක් රැගෙනයමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අම්බලන්වත්ත පදිංචි 36හැවිරිදි පුද්ගලයෙකි.
 
පොලිස් නිලධාරින් සැකකටයුතු ලෙස දුම්රියපොළ අසල ගැවසෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි දුම්කොල 10ක්, ජංගම දුරකතන දෙකක් සහ චාජරයක් සොයාගෙන ඇත.
 
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ දුම්රිය ස්ථානයට ගොස් තාප්පයට උඩින් ඒවා බන්ධනාගාරය තුලට විසි කිරීමට ගෙනැවිත් ඇති බවය. සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කිහිපවරක්ම බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයෙකු බවද අනාවරණය වී තිබේ.
 
ගාල්ල දුම්රිය ස්ථානය සහ බන්ධනාගාරය තාප්පයකින් වෙන්ව ඇති අතර පොලිසිය පැවසුවේ මෙයට පෙරද දුම්රිය ස්ථානයේ සිට තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට වීසි කිරිමට උත්සාහ කල කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
 
ගාල්ල මහේසත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරිමට නියමිතය.