ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාලයේ වහලයේ කොටසක් කඩා වැටේ


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් අද (25) සවස කඩා වැටිණ.

දින කිහිපයක් තිස්සේ ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව නිසා මෙය කඩාවැටී ඇත. එය කඩාවැටෙන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් නූලෙන් බේරි ඇති අතර  එයට අනතුරක් සිදුවී නොමැත.

මෙම ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ ඉදි කරන ලද එකක් වන අතර ලංකාවේ ආරම්භ කරන ලද  ප්‍රධාන තැපැල් කාර්යාලවලින් එකක් පවත්වාගෙන ගියේ මෙම ගොඩනැගිල්ලේය.

ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගියේ මෙම ගොඩනැල්ලේ වන අතර පසුව ගාල්ල නගරයේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ලකට ප්‍රධාන තැපැල් කාර්යාලය ගෙන යෑමෙන් පසු  මෙම ගොඩනැගිල්ලේ සාමාන්‍ය තැපැල් කාර්යාලයක් පවත්වා ගෙන ගියේය.

මෙම අනතුරුදායක ගොඩනැගිල්ල පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ගාලු උරුම පදනමට දැනුම් දුන්නද ඔවුන් කිසිදු පියවරක් නොගත් බව ප්‍රදේශවාසීහු පැවසුහ. 

කෙසේ වෙතත් පොලිසිය විසින් එම ගොඩනැගිල්ල පිහිටි මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.