(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය ආයෝජන යකඩ නිෂ්පාදන සමාගමක මෙරට ගණකාධිකාරිනියට හා එම සමාගමේ ඉන්දීය ජාතිකයන්ට මරණීය තර්ජනය කළ බව කියන සංවිධානාත්මක කල්ලියක සිව් දෙනෙක් අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් එම පිරිස අතර යකඩ අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙක් ත්‍රිරෝද රථ රියැදුරෙක් හා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු සිටින බව පොලිසිය කියයි.
පන්නල මාකඳුර ආයෝජන කලාපයේ පිහිටි යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිනියට නාඳුනන පුද්ගලයකුගෙන් ලද දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ වහාම එම සමාගමෙන් ඉවත්ව යන ලෙසත් එම කාර්යාලයේ හා පන්නල සමාගමේ සිටින සෙසු ඉන්දීය ජාතිකයන්ට මෙරටින් පිටවී යන ලෙස පවසා මරණීය තර්ජනය කළ බව එම ගණකාධිකාරිනිය පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් ගණකාධිකාරිනිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමෙන් දින කීපයකට පමණ පසු එම සමාගමේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ ඉන්දීය ජාතික නිලධාරීයකුගේ සුඛෝපභෝගී මෝටර් රථයට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබූ බව පොලීසිය පවසයි.
එම නිළධාරිවරයා නාරාහේන්පිට පොලිසියට ද ඒ බව පැමිණිලි කර තිබූ අතර පසුගිය මස අග භාගය දක්වාම වරින්වර ගණකාධිකාරිණියට ඒ අයුරින් දුරකථනයෙන් මරණීය තර්ජනය කර ඇයගේ මව ද මරා දමන බවට සැකකරුවන් තර්ජනය කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය .
එකී කාලය තුළ දී ඇය ගමන් ගත් මෝටර් රථයට මඟ හරස් කර පෙර තර්ජනය කළ වචන කොළ කැබැල්ලක ලියා ඇයට පෙන්වීමට මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බව ද පොලිසිය කියයි.

