කෝප් කමිටු වාර්තා ගැන මැතිසබා විවාදයක් 22 වැනිදා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) වාර්තා පිළිබඳ සභාව කල්  තබන අවස්ථාවේ විවාදයක් ලබන 22 වැනිදා දවස පුරා පවත්වන බව එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම විවාදය පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  අනුමැතිය ලබාදී ඇතැයිද   හෙතෙම සඳහන් කළේය .

කෝප් කමිටුවේ වාර්තා දෙකක්  පාර්ලිමේන්තුවට මේ වසරේදී ඉදිරිපත් කෙරුණු බවත් මෙම විවාදය පැවැත්වෙන්නේ  එම වාර්තා දෙක සම්බන්ධයෙන් බවත් සභාපතිවරයා කීවේය.

ආයතන රැසක දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව  පුළුල් වශයෙන් සාකච්ඡා කර  දූෂණ වංචා වැළැක්වීමට අවශ්‍ය යෝජනා ලබා ගැනීම මෙම විවාදය මගින් බලාපොරොත්තු වන බවද  ඔහු පැවසුවේය.

ලබන 19 වැනිදා සහ 20 වැනිදා නිවාඩු දින දෙකක් යෙදී ඇති හෙයින්  පාර්ලිමේන්තුව ලබන සතියේ 21 සහ 22 යන දිනවල පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 21 වැනිදා  විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.