කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(පද්මා කුමාරී කංකානම්ගේ )

ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (11) දින නල්ලන් දලුව ප්‍රදේශයේ දී මදුරන් කුලිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මුහුදු මගින් කල්පිටියට ගෙන්වන ලද මෙම භාණ්ඩ තොගය,කුකුලු පොහොර ප්‍රවාහනය කරන මුවාවෙන්,ඒවා වැසෙන පරිදි පොහොර උර යොදා ආවරණය කර ප්‍රවාහනය කරමින් තිබිණි.

අත්අඩංගුවට පත් භාණ්ඩ අතර ඉන්දියන් බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2500 ක්,එාල් කිලෝ ග්‍රෑම් 4 ක්,චොක්ලට් ඇතුලු ඉන්දියන් රස කැවිලි තොගයක් වෙයි.සැක කරුවන් මන්නාරම සහ නල්ලන් දලුව පදිංචි වයස අවුරුදු 47 සහ 50 අතර අයවලුන් වෙති.

මදුරන් කුලිය පොලිසියට  ලැබුණු  තොරතුරකට අනුව,පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ.ගාමිණි වික්‍රම සිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කොට තිඹිණි. නඩු භාණ්ඩ සහ සැක කරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.