කෝටි 20 ක ‘මැන්ඩි‘ ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ්


 (එම් .සුසිල් ප්‍රියන්ත )


ශ්‍රී ලංකාවෙන් පළමුවරට සොයා ගත් රුපියල් කෝටි 20 ක පමණ  වටිනා  ‘මැන්ඩි‘  නමැති මත් කුඩු කිලෝග්‍රැම් 12 ක් ළඟ තබාගෙන සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අද (21 )පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ලිපිනයේ පදිංචි රාජපක්ෂ පුන්චිනයිදා නම්බි ගිහාන් නමැත්තාය.
 
 මේ සැකකරු ළග තිබියදි මේ මත් කුඩු තොගය සොයා ගැනුනේ අගෝස්තු මස 15 වනිදා රාත්‍රියේදීය.
 
ඒ ගල්කිස්ස හා දෙහිවල පොලිසි දෙක ඒකාබද්ධව සිදුකරනු ලැබු වැටලීමකදීය.
 
අම්බලන්ගොඩ, මුහුදු හරස් පාර පටබැදිමුල්ල ලිපිනයේ ධිවර යාත්‍රා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගබඩා කර තිබියදි  මේ මත් කුඩු තොගය පොලීසිය විසින් සොයා ගන්නා ලදි.  ගල්කිස්ස පොලීසිය විසින් මේ සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලදි.