කො⁣රෝනා බිලිදු මළසිරුර ආදහනයට එරෙහි පෙත්සමෙන් විනිසුරු කෝදාගොඩ ඉවත් වේ


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී දින විස්සක බිළිදෙකු කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වීමෙන් පසු එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම බිළිදා ගේ මාපියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි සාමාජිකයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත් වන බව ඒ මහතා අද (29) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මැයි මස 25 වන දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මියගිය දරුවාගේ මාපියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය ඇමතිනිය , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.