කොළඹින් 130 ක් අතුරුදන්


 
(තිළිණි ද සිල්වා)
 
කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කරයි.


1983 සිට මේ දක්වා කාලය තුළ එම සිද්ධීන් වාර්තා වී ඇති අතර ඉන් වැඩි පිරිසක් 1989 වසරේ දී අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.


අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය බස්නාහිර පළාතේ අතුරුදන්වූ පවුල්වල සාමාජිකයින් හමුවී සාකච්ඡා කිරිම ඊයේ (16) සිදු කළේය.


බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික තුනෙහි අදාළ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.


එම කාර්යාලය ජනතාව සමඟ කරන මෙම සංවාද වැඩපිළිවෙළ මන්නාරම, මාතර, මුලතිව්, ත්‍රිකුණාමලය, යාපනය, සහ කිලිනෙච්චිය යන දිස්ත්‍රික මුල්කර ගනිමින් පසුගිය මැයි මාසයේදී සිදු කෙරුණි.


මෙම වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද පැවැත්විමට කටයුතු කරන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කර සිටී.