පියුමි ෆොන්සේකා (ඩේලිමිරර්)
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව කොළඹ මෙට්‍රෝ කලාපයේ අධ්‍යක්ෂ ලලිත් විජයරත්න මහතා පැවැසීය.
අනවසර ඉදිකිරීම්වලට අමතරව මුල් සැලැස්ම වෙනස් කරමින් සහ ගොඩනැගිලි සහ සැලැසුම් රෙගුලාසි බරපතළ උල්ලංඝනය කරමින් කරන ලද ඉදිකිරීම් රැසක් ද විශේෂයෙන්ම කොළඹ ඒ ආශ්‍රිත නගර සහ රට පුරාම තිබෙන බව ද හෙතෙම කීය.
ඒ අනුව කොළඹ, ඒ ආශ්‍රිත නගර සහ දිවයින පුරා ඉදිවෙන මහල් නිවාස සංකීර්ණ සහ අනෙකුත් ගොඩනැගිලිවල තත්ත්වය නියාමනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නව ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද ඔහු කීවේය.
‘‘කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන් දැඩි ලෙස රෙගුලාසි උල්ලංඝනය කර තිබෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම අනුමත කරගැනීම සඳහා මුලින් ඉදිරිපත් කරන සැලසුම් පසුව වෙනස් කරමින් ඔවුන් එලෙස රෙගුලාසි උල්ලංඝනය කර තිබෙනවා’’ යැයි හෙතෙම කීය.
කොළඹ මෙන්ම රටේ අනෙකුත් බොහෝ ස්ථානවල නිවාස සහ මහල් රැසකින් සමන්විත ගොඩනැගිලි ඉදි කිරීමේදී සිදුවී ඇතැයි කියන ‘ගොඩනැගිලි සහ සැලසුම් රෙගුලාසි’ උල්ලංඝනය වී ඇති බව අනාවරණය වීමත් සමඟ එම නාගරික සංවර්ධන අධිකාරිය දැනට පවතින ගොඩනැගිලි සහ සැලසුම් රෙගුලාසි ප්‍රතිසංස්කරණය කිරීමට එලෙස පියවර ගනිමින් සිටි.
දැනට ඉදි වෙමින් තිබෙන මහල් රැසකින් සමන්විත නිවාස සංකීර්ණවලට අදාළ ගොඩනැගිලි සහ සැලසුම් රෙගුලාසි ද මෙහිදි ප්‍රතිසංස්කරණය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් මේ සඳහා උපදෙස් ලැබී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මෙට්‍රෝ කලාපයේ අධ්‍යක්ෂ ලලිත් විජයරත්න මහතා පැවැසීය.
මේ අනුව වසර 34ක් පැරැණි ‘ගොඩනැගිලි සහ සැලසුම් රෙගුලාසි’ සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව හෙතෙම කීය. දැනට තිබෙන රෙගුලාසිවලට අනුව මීටර 30කට වඩා උසැති මහල් රැසකින් සමන්විත ගොඩනැගිලි ලෙස හඳුනාගැනේ.
නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් නූතන සංවර්ධනය ක්‍රියාවලිය සමඟ නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි අනුකූල කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.
නිවාස සංකීර්ණ සහ මහල් රැසකින් සමන්විත ගොඩනැගිලි ඉදි කිරීමේදී දැනට පවතින රෙගුලාසි නිසි පරිදි පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා පරිපාලන ක්‍රමවේදයක් හෝ විගණන ක්‍රමවේදයක් නොමැති බව කී විජයරත්න මහතා විශේෂ නිරීක්ෂණ ක්‍රමවේදයක් සහිතව නව රෙගුලාසි හඳුන්වාදෙන බව කීවේය.
නව රෙගුලාසිවලට අනුව නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් එය වරින් වර නිරීක්ෂණයට ලක් කරන බව කීවේය.
නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවසර දීම යනාදී කටයුතු ආයතන කිහිපයකින් සිදුවීමත් ඒ සඳහා එක් රාජ්‍ය ආයතනයක් නොවීමත් යන කරුණු නිසා නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවසර ගැනීමේදී සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී අල්ලස් ලබාදීමේ සිදුවීම් හා වංචා දූෂණ සිදුවීම් ද ඉහළ බව වාර්තා වේ.
එම නිසා කාලය සහ හිඩැස් අවම කිරීමටත් රජයේ නිලධාරීන් අල්ලස් හා වංචා දූෂණවලට සම්බන්ධ වීම වැළැක්වීමටත් මේ කටයුතු සඳහා එක් රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ද විජයරත්න මහතා කීය.
නව රෙගුලාසිවලට අනුව නිවාස සංකීර්ණයේ හෝ ගොඩනැගිලිවල මහල් සංඛ්‍යාව තීරණය වන්නේ ඉඩමේ ප්‍රමාණය, කාණු පද්ධතිය, කැළිකසල බැහැර කිරීම, අපජලය බැහැර කිරීම, මළාපවහනය සහ විදුලිබල පහසුකම් යනාදිය අනුව යැයි ද හෙතෙම කීය.
එමෙන්ම ඓතිහාසික වැදගත් ප්‍රදේශවල සහ වෙරළබඩ ප්‍රදේශවල ඉදිකිරීමට යෝජනා කෙරෙන නිවාස සංකීර්ණවලට අවසරය ලබාදීමේද ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු කීය.
කෙසේ නමුත් රෙගුලාසි උල්ලංඝනය කරන හෝ රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉදි කිරීම් අවසන් කළ අයට දඬුවම් කිරීම සඳහා මෙතෙක් ක්‍රමවේදයක් සකසා නැත.
055

