(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවයි.
මේ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින හෙයින් ඔහුට උපරිම ආරක්ෂාව ලබා දීම කාලෝචිත බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.
විවිධ වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවටද එම බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇත.
කොළඹදී පසුගිය 9 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දින කිහිපයක්ම ලැගුම් ගෙන සිටියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේය.