කොස්ලන්දේ නාය යෑමක්


(සමන් පාලිත නානායක්කාර )

පවතින වර්ෂාව සමඟ බෙරගල වැල්ලවාය මාර්ගයේ හල්දුම්මුල්ල කොස්ලන්ද 202/3 බෝක්කුව පිහිටි ප්‍රදේශයට ඉහළ කන්දේ කොටසක් අද (17 ) අලුයම  නාය ගොස්  තිබේ.

මේ හේතුවෙන්  නිවාස කිහිපයකට  අවදානම් තත්ත්වයක් මතුවී ඇතැයි ද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ .ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

මෙම නාය යාම ට ආසන්නයේ අවදානම් තත්ත්වයේ පදිංචිව සිටි පවුල් දෙකක් මේ වන විට පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇතැයි ද  නාය ගිය ස්ථානය මීට පෙර අවස්ථා වලදී ද නායාමක් සක්‍රිය  වූ ස්ථානයක් බවද හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය  කීවාය. 

මේ පිළිබඳව කඩිනම් විමර්ශනයක් පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය කටයුතු සදහා  දැනුම් දී ඇති බවද එහි  නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය. 

කොස්ලන්දේ සිට  වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රථ වහන මෙම ස්ථානය පසු කිරීමේදී දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද ප්‍රාදේශීය ලේකම්වරිය සහ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.