කොරෝනා පනතේ වගන්ති පහක් ව්‍යාවස්ථාවට පටහැනියි


 (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා වයිරස රෝගය (කොවිඩ් 19 ) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙසේ පටහැනි වන්නේ එම පනත් කෙටුම්පතේ 12 ,4, 5,6 සහ 7 යන වගන්තීන්ය .

පනත් කෙටුම්පතේ 2,3,4,6,7සහ 10 වගන්ති සමඟ කියවිය යුතු දොළොස් වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව එහි දැක්වෙයි.

එසේ වුවද එම වගන්තිය සංශෝධනය කළහොත් එහි අනනුකූලභාවය ඉවත්ව යන හෙයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ .

පනත් කෙටුම්පතේ 4 වෙනි වගන්තියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය එම ව්‍යවස්ථාවේ 84(2)වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය බව සඳහන් කර ඇත.

එසේ වුවද එම වගන්තියද සංශෝධනය කරන්නේ නම් එහි අනුකූලතාව ඉවත්ව යන හෙයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද තීරණයේ දැක්වේ.

එසේම පනත් කෙටුම්පතේ 5,6 සහ 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1)ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

පනත් කෙටුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවත් පනත් කෙටුම්පතේ 3 (1)වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බවත් සඳහන් වෙයි .

මෙම තීරණය දෙනු ලැබ ඇත්තේ කොරෝනා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දෙදෙනකු විසිනි. අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වෙනත් තීරණයක් ඉදිරිපත් කර ඇත.