කොරෝනා ආසාදිතයෝ මිලියන 200 පනී


ලොව පුරා නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 200 සීමාව ඉක්මවා ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

මේ වනවිට නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදයෙන් ලොව රටවල් රැසකට දරුණු බලපෑම් එල්ල වී තිබේ.

ලොව රටවල් රැසකින් මේ දිනවල, දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ වැඩිදෙනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවෝ ය.

එන්නත්කරණ ක්‍රියාවලි මන්දගාමී වීම සහ සෞඛ්‍ය පද්ධති කඩා වැටීම යන කරුණු ද ලොව විවිධ රටවලින් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වීමට හේතුවක් වී තිබේ.

ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වීම තුළින් ලොව පොහොසත් රටවල් සහ දුප්පත් රටවල අතර එන්නත්කරණය සම්බන්ධයෙන් ඇති හිඩැස පෙනී ගොස් ඇතැයි ද වාර්තා පෙන්වාදෙයි.

තෙවැනි ලෝකයේ රටවලින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ඉහළ යමින් තිබෙන අතර එම රටවල් බොහෝමයක් තවමත් එම රටවල ජනගහනයෙන් අඩකට හෝ ‘කොවිඩ්-19’ එන්නත්වල පළමු මාත්‍රාව හෝ ලබා දී නොමැත.

(රොයිටර්)