කොරෝනා අස්සේ මුදල් ගැරූ හමුදා සෙබළා මාට්ටු


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් වලට පැමිණ බලපත්‍ර පරික්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු අද සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන අරාලි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි හමුදා සෙබළකු බවට හඳුනා ගත් බව පොලිසිය සඳහන් කරයි .

ආදායම් බදු නිලධාරියකු ලෙස හඟවමින් පැමිණ ඇති සැකකරු  වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් කීපයකට පැමිණ ඒවායේ බලපත්‍ර පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පරීක්ෂාවට ලක් කළ බලපත්‍රවල විවිධ අඩුපාඩු ඇති බව කියමින් ඒව සකස් කොට නිවැරදි කර බල පත්‍ර සැකසුම දීමේ හැකියාව ඇති බව පවසා ඇතැයි පොලිසිය කියයි .

ඒ අවස්ථාව වනවිට නගරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පෙන්වා ඇති සැකකරු එම නිලධාරීන් තමන් සමග රාජකාරියට පැමිණ ඇති බවට ව්‍යාපාරිකයන්ට කරුණු දක්වා ඇති බවට ද බවටද පොලිසිය සොයා ගෙන ඇත.

එක් බලපත්‍රයක් සම්බන්ධයෙන් වෙළඳසලක හිමිකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීට දැනුම් දුන් අවස්ථාවේ ග්‍රාම නිලධාරිනිය හා දුරකථනයෙන් සාකච්ඡා කර ඇති සැකකරු එම බලපත්‍රයේ අඩුපාඩු ඇති බවටද කරුණු දක්වා ඇති බව දුරකථන  හඬපටවලින් හෙළිවන බව ද පොලිසිය සඳහන් කරයි .