කොතලාවල විශ්ව විද්‍යාල පනත අනිද්දා විවාදයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(8)විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය අද (6) ලැබිණ.

මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු වඩාත් විධිමත් ලෙස ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා මෙම පනත් කෙටුම්පත වැදගත් බව එහි උප කුලපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා මෙම කමිටුව හමුවේ පැවසීය.

පනත් කෙටුම්පත් අවස්ථා කිහිපයකදීම සංශෝධනය වුවද විශ්වවිද්‍යාලයකට අවශ්‍ය ව්‍යුහය නෛතිකව ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේය.

වඩාත් ගුණාත්මක පාඨමාලා අවම මුදලක් යටතේ හැදෑරීමට මෙම විශ්වවිද්‍යාලය හරහා අවස්ථාව උදාවන බව කාරක සභාවේ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

මේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක හා ආපදාකළමනාකරණ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ,ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.